අම්බුළුවාවේ ඛේදවාචකය: මිතුරා පය තැබූ ගල දමින්දට මරු කැඳවයි

දෙහිඕවිට සිට ගම්පොළට පැමිණ වැරැදි මාර්ගයකින් අම්බුළුවාව කඳු මුදුන නැගීමට ගිය සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක අයකු මතට විශාල ගලක් පෙරැළී විත් එයට යටවීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ දෙහිඕවිට, මුරුත්තෙට්ටුව ප්‍රදේශයේ පදිංචි දමින්ද සමරතුංග නමැති තිස්හත් හැවිරිදි දෙදරු පියෙකි. ඔහු බිරිඳට ද නොකියා පසුගිය 09 වැනිදා අලුයම දෙකට නිවසින් පිටව මිතුරන් සිව් දෙනකු සමග මෙම ගමන පැමිණ ඇත. ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක පැවැත් වූ මරණ පරීක්ෂණයේ දී මේ බව හෙළිවිය.

ඔවුන් සිව් දෙනා රුපියල් පහළොස් දහසක් ගෙවා ත්‍රීරෝද රථයක් කුලියට ගෙන අලුයම දෙකට ප්‍රදේශයෙන් පිටත්ව උදෑසන හත වනවිට ගම්පොළට පැමිණ තිබේ. ගම්පොළ නගරයෙන් ආහාර ද රැගෙන අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කඳු මුදුන පිවිසුම් මාර්ගය වෙත යමින් සිටිය දී ඊට කිලෝමීටරයක් පමණ තිබිය දී ත්‍රීරෝද රථයේ රෝදයක හුළං අඩු වූ බව අනෙක් මිතුරන් සඳහන් කර තිබේ. පසුව හුළං පුරවා ගැනීමට එම රථය ගම්පොළ නගරය වෙත යවා ඔවුන් එම ස්ථානයෙන් ඉහළට තිබූ කුඩා කැලෑ මාර්ගයකින් කන්ද නැගීම ආරම්භ කර ඇත.


කිලෝමීටර් එකහමාරක් පමණ කඳු මුදුන නගිමින් සිටිය දී කුඩා ඇල මාර්ගයක් හමුවී එහි තිබූ ජලය බීමට දෙදෙනකු නැවතී සිටිය දී අනෙක් දෙදෙනා කන්දේ ඉහළට නැග තිබේ. ඉන් එක් අයෙකු අඩිය තැබූ විශාල ගලක් ගැලවී පහළට පෙරැළී ඇති අතර ඔවුන් දෙදෙනා කෑ ගසා පහළ දෙදෙනාට අයින් වන ලෙස පවසා ඇත. ඒ අනුව පහළ දෙදෙනා දෙපැත්තට දිව ගොස් ඇති නමුත් දකුණු පස සිටි අය යට කරමින් එම ගල පහළට පෙරැළී ගොස් තිබේ. පසුව ඉතිරි තිදෙනා ගලට යට වූ අය ඔසවාගෙන යළි පහළට පැමිණ ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය ගෙන්වා ගෙන එයින් මෙම පුද්ගලයා ගම්පොළ රෝහලට රැගෙන ගිය ද ඒ වනවිටත් එම පුද්ගලයා මියගොස් තිබිණි.


මරණ පරීක්ෂක නලින් මැදිවක ඉදිරියේ සාක්ෂි දුන් මියගිය අයගේ බිරිඳ වන වසන්ති ලසන්ති කුමාරි සඳහන් කර සිටියේ තම සැමියා සූපවේදියකු බවත් ප්‍රදේශයේ උත්සව අවස්ථාවල සහ කිරි අම්මා දානය ආදිය සැකසීමට භාර ගන්නා බවය. පසුගිය අටවැනිදා මිතුරන් සමඟ සාදයකට ගොස් රාත්‍රී දහයට පමණ සැමියා නිවසට පැමිණි බවත් නිවස ඉදිකරමින් තිබෙන නිසා තමා හා දරුවන් වෙනමත් සැමියා වෙනමත් නිදාගන්නා බව ඇය පැවැසීය. එසේ නිදාගත් සැමියා තමාට ද නොකියා අළුයම මෙම ගමන ගොස් සිටිය දී වූ අනතුර ඔහුගේ මිතුරෙකු තම මවට පවසා තිබුණු බවත් ඇය පවැසුවාය.

ගම්පොළ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සචින් රණතුංග පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මොහුගේ පපුවට හා උදරයට සිදු වූ හානිවලින් මියගොස් ඇතැයි සඳහන් කර තිබිණි. ඒ අනුව මෙය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් බව තීන්දු කෙරිණි. ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දුගේ උපදෙස් අනුව ස්ථානීය අපරාධාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පැවැත් වූහ.

 සුරංග රාජනායක - ගම්පොළ







අම්බුළුවාවේ ඛේදවාචකය: මිතුරා පය තැබූ ගල දමින්දට මරු කැඳවයි අම්බුළුවාවේ ඛේදවාචකය: මිතුරා පය තැබූ ගල දමින්දට මරු කැඳවයි Reviewed by Tricks And Tips on August 12, 2024 Rating: 5

No comments:

Powered by Blogger.